Sunday 3 December 2023


 

ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක්


ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම්, පළපුරුද්ද පසුකාලීන ව ගුවන්විදුලි ක්‍ෂේත්‍රයේ හරඹ කරන්නෙකු ලෙස ශ්‍රාවක හදවත්වල අමරණීය නමක් හිමි කරගත් කරුණාරත්න අමරසිංහයන් සමග යෙදුණු සල්ලාපයක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි. 



  • කුඩා අවධියේ  ගුවන්විදුලි ශ්‍රාවකයෙකු ලෙස ඔබේ අත්දැකීම් මොන වගේ ද ?

මුලින් ම ළමයෙක් විදිහට තමයි මම ගුවන්විදුලියට පය තබන්නේ. මා ගුවන්විදුලියට යන කොට අපේ ගෙදර ගුවන්විදුලියක් තිබුණෙ නැහැ. තිබුණෙ මොකක්ද කිෂිල්ස් එකක් තමයි තිබුණේ. කිෂිල්ස් එක කියන්නේ ගල් විශේෂයක්. ඒක ලෑලී කෑල්ලක හයිකරලා තඹ කම්බි ගොඩක් දාලා හදන එකක්. ඒරියල් එකක් දානවා. එහෙම තමා මම මුලින් ම ගුවන්විදුලිය ඇහුවෙ. මේකෙන් ලංකාවේ හිටපු උගතුන් සාහිත්‍යය ගැන කතා කරනවා, භාෂාව ගැන කතා කරනවා.  ඒ කතා කරන සියලු‍ දෙනා භාෂාව සාහිත්‍යය හොඳට හදාරන අය වුණා. එතකොට නිකම් ම ආශාවක් ඇති වෙනවා භාෂාව මනාව හසුරුවන්න. ඔහු එහෙම කීවේ ඔහුගේ මතකයට නැගුණු සංස්කෘක ශ්ලෝකයක් ද කියම්නි.
 වසන්ත  මදනෝද මාද මුකර........... 
ඒ කාලේ හරිම  ආකර්ෂණීය විදිහට ගුවන්විදුලියෙන් භාෂාව ගෙන එනවා. ඒ කියන්නේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. විධිමත් අධ්‍යාපනය ලබාදෙන්න මාධ්‍ය බොහොමත් ම රුකුලක් වුණා. එක් අතකට මේක විවෘත  විශ්වවිද්‍යාලයක් වගේ වෙනම ජීවයක් ලබාදෙනවා.  ඔහොම තමා  ශ්‍රාවකයෙකු විදිහට  මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ.

  • ඔබතුමා ළමා ශිල්පියෙකු වශයෙන් ළමා පිටියට සම්බන්ධ වෙනවා කිව්වනෙ. ඒ අත්දැකීම ඔබට කොහොමද  දැනෙන්නේ?

අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කාලේ ඉස්කෝලේ මගේ යාළුවෙක් හිටියා වෝල්ටර් කල්දේරා කියලා. එයා නිරන්තරයෙන් ම ළමා පිටියට කතා, ප්‍රවෘත්ති, විද්‍යාඥයෝ ලෝක සාහිත්‍යය ගැන ලියනවා. දවසක් වෝල්ටර් මට  කිව්වා ගුවන් විදුලි ළමා පිටියට එයාට එන්න කියලා ආරාධනාවක් කළා කියලා.  එතන දී එයාගේ නිර්මාණ එයාටම ඉදිරිපත් කරන්න ආරාධනා කරල තියෙනවා.  ඒක  ඉතින්  ලොකුම වරප්‍රසාදයක්. වෝල්ටර් ඉතින් මට කිව්වා යමු කියලා. මම  පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා  වෝල්ටර් එක්ක ගියා  ළමා පිටියට. ඉදිරිපත් කළේ ගුවන්විදුලි සංස්ථාවේ දහවෙනි මැදිරියේ. ඒ කාලේ ළමා පිටිය දවස් හතේම තිබුණා. අපි ගියපු ළමා පිටිය තිබුණේ බදාදාට. ඒක ඉදිරිපත් කළේ, ගුවන්විදුලිය පැත්තෙන් තිලක් සුධර්මන් ද සිල්වා කියන දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙක්. මෙතුමා වැඩසටහනට ඉස්සෙල්ලා පුහුණුවක් ගන්නවා. අනික ඒ කාලේ මේ රෙකෝඩින්  මොකක්වත් නෑ. කෙලින් ම  සජීවීව තමා යන්නේ. ජීවිතේට ගුවන්විදුලියට පය ගහලා නැති මට එදා ළමා ශිල්පියෙකු ලෙස වැඩ කරන්නා සිදුවුණා.  ඒ මදිවට මයික් එකක් ගාව කතා කරන්නත් ඕනේ. බැරිවුනොත් සමාව ඉල්ලන්නත් බෑනේ. ඒක හරිම අභියෝගයක්. අපි පුහුණු වෙන වෙලාවේ වෝල්ටර් අයිසෙක් නිව්ටන් ගැන තමයි ලියලා තියෙන්නේ. ඉතින් මේක ඉදිරිපත් කරන්නේ වෝල්ටර්. මොකක් හරි වාසනාවකට මේකෙ තියෙනවා එක දෙබසක් අයිසෙක් නිව්ටන් කතාකරන. ඉතින් මේ දෙබස කියන වෙලාව ආවා. සුදර්මන් අයියා එකපාරට   මල්ලී ඔයා මේ දෙබස කියන්න  බලන්න”. පස්සේ මං මේක කීවා.  ආ හරි ෂෝක්නේ මල්ලි  හොඳට කිව්වා” ඉස්සෙල්ලාම මගේ හඬ ගුවනට ගියේ එදා. සර් අයිසෙක් නිවුටන්ගේ දෙබසින්. සුදර්මන් අයියා තමා ඉස්සෙල්ලා ම මගේ හඬ ගුවන්විදුලියට යැව්වේ. වෝල්ටර් කල්දේරාගේ ලිපියේ තමයි දෙබස තිබුණේ. ඔන්න මම මුලින් ම ළමා ශිල්පියෙකු වුණ හැටි.
  • ගුවන්විදුලි ළමා ශිල්පියා පසු කාලයේ නාට්‍ය ශිල්පියෙක් වුණේ කොහොමද?

 මම ළමා ශිල්පියෙකු විදිහට සහභාගි වෙන එක්තරා රැයක අර කිෂිල්ස් සෙට් එකෙන් ම මට ඇහෙනවා නාට්‍ය ශිල්පීන් තෝරා ගැනීමේ පරීක්ෂණයක් තියෙනවා කියලා. හඬ පරීක්ෂණයක්, ඒක ඇහුණට  පස්සේ මට හරි පුදුම සතුටක් දැනුණේ. ඒ කාලෙ කොහොමද ශිල්පියෙක් තෝරා ගන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. හඬ මුලින් ම වැදගත් වන්නේ මේ නිසයි. ඊළඟ දවසේ මට ලියුමක් එනවා මාව තෝරගත්ත කියලා. අහවල් දවසේ එන්න කියලා තිබුණා. ගියාට පස්සේ පරීක්ෂණයට දෙනවා  "අ"යන්නක්. පොඩි කොලේක  "අ" ලියලා ඒකෙ උපදෙස් දීලා තියෙනවා "අ"ශබ්දයෙන් විවිධ හැඟීම් පළ කරන්න කියලා. මේක ඉතින් මුඛ පූට්ටු වෙන කතාවක් නේ.  මෙයාට නිර්මාණාත්මක ව හිතන්න පුළුවන්ද කියලා තමා බැලු‍වේ.
 ඒකෙන් පස්සෙ ඔන්න තුන්වෙනි පරීක්ෂණයටත් එන්න කිව්වා. එතන දි තමයි නාට්‍යය දෙබසක් දුන්නෙ  ඒකේ තිබුණේ අනේ මං කොහොමද මේ දේ ඔබට කියන්නේ’ අන්න මගේ  අවසාන පරීක්ෂණය. එහෙම තමයි මං ඉස්සෙල්ලා ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් වුණේ. එය මගේ ජීවිතයට ලොකු ආලෝකයක් වුණා. එදා ඉඳලා ගුවන්විදුලි රඟමඬලේ තෝරාගත් ශිල්පීන්ගේ ලැයිස්තුවක් තිබුණා  ගුවන්විදුලි නාට්‍යවලට  නාට්‍ය ශිල්පීන් තෝරා ගන්න. මේකට පුහුණු වුණ අය තමා ගන්නේ. මමත් මේකට තේරුණා. මාත් එක්ක ආපු අයගෙන් නෙතලි නානායක්කාර මට ඉතාම ආදරයෙන් මතක් කරන්න පුළුවන්.
  • ඒ වගේම ඔබතුමා හා ජාතික ගුවන්විදුලිය අතර පවතින අමතක නොවන සිදුවීම් මොනවාද?

  අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය නාට්‍ය ශිල්පියෙක් වුණාට පස්සේ  ඓතිහාසික සිදුවීමක් වෙලා තියෙනවා. ඒ කාලේ නාට්‍ය වැඩසටහන ගුවන්විදුලිරඟමඩල යි. ඒකට මුලින් ම නම දාලා තිබුණේ රේඩියෝ රඟමඬල කියලා. රේඩියෝ ඉතින් ඉංග්‍රීසි වචනයනේ. ඒ වෙනුවට ගුවන්විදුලි රඟමඬල කියලා වෙනස් කරා. එතකොට ගුවන්විදුලි රඟමඬල තමා ප්‍රධාන නාට්‍ය වැඩසටහන. ඒකට තමා අර ශිල්පීන් ව තේරුවේ. ඒ ඇරුණු කොට විශ්ව සාහිත්‍ය කියලා වැඩසටහනක් තිබුණා. නාට්‍යානුසාරී ව ඉදිරිපත් කරන්න. ඊළඟට ඔය අපේ පැරණි සාහිත්‍යයේ තියෙන සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ඒ වගේ කතා අරගෙනත් නාට්‍යානුසාරී ව ඉදිරිපත් කළා. එවත් මගේ ජීවිතයේ අමතක නොවන ගුවන්විදුලි ආදරණීය  මතකයන් ය. ඒ හැරුණු කොට රහස් පරීක්ෂක නාට්‍ය තිබුණා. පස්සේ කෙටිකතා කියලා වෙනම නාට්‍ය කොටසක් තිබුණා. අපි කවුරුත් දන්නවනේ ගුවන්විදුලි මාධ්‍යය කියන්නෙ ම අසන්නාගේ මනසේ පින්තූර මැවෙන්න හඬ හැසිරවිය යුතු මාධ්‍යයක් කියලා. නාට්‍යයක් කරන්න ගියත් ප්‍රවෘත්තියක් කියන්න ගියත් ඔළුවෙ තියාගන්න ඕන මම කතා කරන්නේ අන්ධ පිරිසකට කියලා. අන්ධයන්ට ඇස් පේන්නෙ නැහැනේ. ඒ ගොල්ලො හඬ අහලා සිතින් මවා ගන්නවා. ඒ නිසා තමා කියන්නේ නිවේදන කලාවේ දී ගුවන්විදුලි නිවේදකයන්ගේ ඉදිරිපත් කිරීම් සහ රූපවාහනි නිවේදකයන්ගේ  ඉදිරිපත්  කිරීම් අහසට පොළොව වගෙ කියලා. රූපවාහිනියේ කතා කරන පුද්ගලයා පේනවා.  ගුවන්විදුලියෙන් කතා කරන පුද්ගලයා ඇමතිය යුත්තේ තනි පුද්ගලයෙකුට ය. මෙහි දී සාමූහික ව හිටියත් ගුවන්විදුලිය අහන්නේ තනි තනි ව ය. 
මාධ්‍ය කියන්නෙ හැමෝට ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකත්වය අවැසි දෙයක්. ගුවන්විදුලි රඟමඩල මගේ ජීවිතේට ම භාග්‍යයක් වූ  දෙයක් කොට තමා සලකන්නනෙ. එතන වේදිකා නාට්‍යවල විශිෂ්ට නිෂ්පාදකයකු වන සුගතපාල ද සිල්වා නාට්‍ය අංශය භාරව ආවා. ඔහු ඇවිල්ලා එතෙක් පැවති ගුවන් විදුලි නාට්‍යය මෝස්තරය වෙනස් කළා. ඒ නාට්‍යය ගොඩට අහුවුණා එක් තනි චරිතයක්. එය මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වුණා. මේ නාට්‍යයට තිබුණේ එක් තනි චරිතයකි. එකේ නම  කොනේ කාමරේ හෙවත් සිරකරුවෙකුගේ කතාව” මෙය පැය භාගයක ගුවන් විදුලි නාට්‍යයක්. එදත් අදත් තවම තනි චරිතයේ ගුවන්විදුලි නාට්‍යයක් ඉතිහාසයේ තිබී නොමැත. මේ තනි චරිතය ඉදිරිපත්  කළේ මමයි. ඒ අත්දැකීම ඉතාම වැදගත්. හෙට රෑ එල්ලන්න ඉන්න මිනිසෙකුගේ අද රෑ හිත කොහොමද, මයික් එක ඉදිරියේ ඉඳලා ස්ටූඩියෝ හතර කොනේම යමින් එමින් ඒ හැගීම් නිරූපණය කිරීම මා ගුවන්විදුලි  ජීවිතයේ ලබපු අමුතු ම ඓතිහාසික අත්දැකීම්ක් වුණා.
  • ගුවන්විදුලි රංගන ශිල්පියකු වශයෙන්  ඔබතුමාට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

  ඔය  වකවානුව වෙනකොට ලංකාවේ තිබුණේ එක ගුවන්විදුලියයි. මේ දැන් වගේ පුද්ගලික නාලිකා තිබුණේ නැහැ. එතකොට මුළු ලංකාවෙ මිනිස්සු අහන්නේ මේ ගුවන්විදුලියයි. ඒ කාලයේ ජනප්‍රියම වැඩි දෙනා අහන වැඩසටහන් කිහිපයක් තිබුණා. ප්‍රවෘත්ති, බණ වගේ දේවල් මිනිස්සු අහනවා. ඒ හැරුණු විට ජනප්‍රිය ම වැඩසටහන ගුවන්විදුලි නාට්‍ය වුණා. අදත් ඒ රසිකයන් ඉතිරි වෙලා ඉන්නවා. ඒක මට ලොකු සතුටක්. සමහරු මගේ රූපය දැකලා නැහැ. ඒ කාලේ මේ ගුවන්විදුලි නාට්‍ය අහපු අය ඊට පසු කාලවල්වල මා ගමන් බිමන් යනකොට කතා කරන වෙලාවට නොයෙක් අවස්ථාවල මට කතා කරල මගේ නම කියනවා ඒ තරම් ඔවුනට මගේ හඬ මතකයෙහි රැඳිලා. සමහර නාට්‍යවල මගේ දෙබස් ඔවුන්  මතකයෙන්  කියනවා. ඒ කියන්නේ අසන්නාගේ   පරිකල්පනයට ගොඩක් වැදගත්  වෙන බවයි. තරුණ කාලේ තරුණ ප්‍රජාව කොතරම් හඬට ආකර්ෂණය වෙන්න ඇද්ද? ඒ අය හඬත් එක්ක මවාගන්න රූපත් සමග තමයි ආකර්ෂණීය වීම සිදුවෙන්නේ .එසේ හඬට ප්‍රිය කිරීම සමග බන්ධනයක් ඇති වේ. එක එක්කෙනා මා ඔවුනට ආවේණික විදිහට මාව මවාගෙන තියෙනවා.

  • පසුගිය දිනක අහන්න ලැබුණා ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසීමට යන කාරණාවක්. මේ ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් ඔබතුමා දරන අදහස කුමක්ද?

 ඇත්තටම එය සම්පූර්ණ අපරාධයක්. ප්‍රාදේශීය සේවා ඔස්සේ කොච්චර දක්ෂ පරපුරක් බිහි වෙලා  ඉන්නවදරෑ දැන් ඔය කරුණාරත්න දිවුල්ගනේ ගායකයා තනිකරම රජරට සේවයෙන් ආවේ. එතකොට මහින්ද චන්ද්‍රසේකර වැනි ගීත රචකයන් ආවේ රජරට සේවයෙන්. අපේ ප්‍රධාන ගුවන්විදුලියට පසු කාලයේ බඳවා ගත් නිවේදක නිවේදිකාවෝ, නිෂ්පාදකයෝ, කාර්මික ශිල්පියෝ හුඟක් අය ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයෙන් තමා ඇවිල්ලා තියෙන්නෙ. දැන් බලන්නකෝ අද වගේ කාලෙක කොළඹ වැඩසටහන්වලට  අනුරාධපුර නුවර පැත්තේ ඉඳලා එන්න මොන තරම් වියදමක් යනව ද? කොහොමද එන්නේ ? අනික දැන් ඒ ඒ පළාත්වල ඉස්කෝලවල මොන තරම් දක්ෂ ළමයි ඉන්නව ද?  ළමයින්ගේ දක්ෂතා එළි දක්වන්න හොඳම තෝතැන්නක්  ප්‍රාදේශීය ගුවන්විදුලිය. ඒ නිසා ප්‍රාදේශීය ගුවන්විදුලිය ඕනෑම රටකට ඉතාම  අවැසි අංගයක් බවයි මට නම් හැඟෙන්නේ.
  • ජාතික වශයෙන් වර්තමාන ගුවන්විදුලියේ ස්ථාවරත්වය පවත්වාගෙන යමින් අනාගතයේ එය ජාතික සම්පතක් වශයෙන් රැක ගැනීමට නම් ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ කෙසේද?  ඒ සඳහා ඔබතුමාගේ අදහස් හා යෝජනා මොනවද?
 
නිදහසින් පසු මේ වෙනකම් ම කිසිම දේක ජාතික ප්‍රතිපත්තියක් නෑ. ඉන්දියාවේ ආණ්ඩුවක් පැරදිලා නව ආණ්ඩුවක් ආ කල අධ්‍යාපනය, සෞඛ්‍ය වෙනස් වන්නේ නෑ. නමුත් අපේ රටේ කිසිම දේක ජාතික ප්‍රතිපත්තියක් නෑ. මේ හැමදේක ම ව්‍යාප්තය උසස් තත්ත්වයකට ගේන්න නම් ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ .ජාතික ප්‍රතිපත්තියක් නැතුව කිසි දෙයක් හදන්න බැහැ. අද කිසි  විටෙක අරමුණක් නැහැ. එතකොට ඔය මේ කසිබල් භාෂාවල් භාවිත කරන්නේත් නැහැ. අද ඕන කෙනෙකුට ඕන දෙයක් කළ හැකයි. නමුත් ජාතික ප්‍රතිපත්තියක්  තිබේ නම් එහෙම හොඳ ප්‍රමිතියකින් යුත් ගුවන්විදුලි නාළිකා බිහි වන්නට ඉඩ තිබුණා.

                                                                                                  සාකච්ජා කළේ  - ඉෂාරා විජේරත්න

  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...