Saturday 1 July 2023

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා-3( කඳුරට සේවය)


  ලංකාවේ තෙවෙනි ප්‍රාදේශීය ගුවන්විදුලිය වන කඳුරට සේවය මධ්‍යම,ඌව, සබරගමුව, සහ වයඹ පළාත් ආවරණය වන පරිදි fm 90.1, 107.3, 107.5 තරංග මාලා ඔස්සේ මෙන් ම SLBC  Mobile App සහ Radio Garden ජංගම දුරකතනය ඔස්සේ ලොව පුරා සිටින සියලු ජනතාවට ශ්‍රවණය කළ හැකි පරිදි වැඩසටහන් විකාශනය කරයි.මෙය කන්ද උඩරට පිහිටි එකම විද්‍යුත් නාලිකාවයි. ක්‍රි.ව.1983 අප්‍රේල් මස 13 වැනි දින මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි පරිශ්‍රය තුළ කඳුරට සේවය ස්ථාපනය විය. එකල ගුවන් විදුලි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ කාල සීමාව තුළ දී මෙම  මහනුවර සේවය ආරම්භ කරන ලදී.ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ‍ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මෙහි නියෝජ්‍ය ඇමති  චන්ද්‍රා  කරුණාරත්න ,කතානායක ඊ. එල්. සේනානායක,  මහනුවර දිසාපති දමුණුපොළ , මහනුවර දිස්ත්‍රික් සංවර්ධන මන්ත්‍රී අන්නමලේ වැනි ප්‍රභූවරුන් ද මහනුවර සේවය විවෘත ක කිරීමේ උත්සවයට සම්බන්ධ විය.

 ක්‍රි .ව.1983 අප්‍රේල් 13 වැනි දා සිංහල අලුත් අවුරුදු උදාවේ පුණ්‍ය කාලයේ දී පස්වරු 04:32 ට යෙදුණු සුබ නැකතින් සෙංකඩගලින් මධ්‍යම තරංග  සහ අඹේවලින්  තරංග 531 ඔස්සෙ එවකට සිංහල සේවා අධ්‍යක්ෂ ව සිටි චිත්‍රානන්ද අබේසේකර මහතාගේ හඬින්  මුල්ම නිවේදනය නිකුත් කළේය. කඳුරට  සේවය ආරම්භයේ දී භාෂා තුනෙන් ම  වැඩසටහන් ඉදිරිපත් වූ අතර පස්වරු 6 සිට 7 දක්වා මුල්ම ඉංග්‍රීසි වැඩසටහන් ඉදිරිපත් කළේ හිල්ටන් පෙරේරා මහතා ය.ආරම්භක කාලයේ දී දෙමළ වැඩ වැඩසටහන් දක්ෂ නිවේදකයකු වූ කමලනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 ‍ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගත්  කන්ද උඩරට ආගමික හා සංස්කෘතික පසුබිම පිළිබඳ ගවේෂණාත්මක දැනුම් සම්භාරයක් ශ්‍රාවකයා වෙත පිරිනැමීම මූලික අරමුණ කරගනිමින් එළවළු හා කුළුබඩු ගොවීන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය, මධ්‍යම කඳුකරයේ සිටින කලාකරුවන්ට තම නිර්මාණ එළිදක්වන්නට මහනුවර සේවය කදිම තෝතැන්නක් විය.

 ‍ප්‍රාදේශීය අවශ්‍යතාව  ඉස්මතු කරමින් විකාශනය වූ ආරම්භක වැඩසටහන් අතර වාහල්කඩ, කවිකාර මඩුව,  උඩවැඩියා මල් ,යොවුන්  සැදැල්ල, ඉතාම ජනප්‍රිය වේ. හිල්ටන් පෙරේරා, සුමනා ජයතිලක ,කුමාර රත්නායක, සිසිල් ජිනදාස ,සමන් ජයරත්න යනාදින් ආරම්භයේ සිට මහනුවර සේවයේ සේවය කළ පාලකවරුන් අතරින් කිහිපදෙනෙකි.ජනප්‍රියට පත් නිවේදකයන් ලෙස,

  • එස්.ලියනගේ.
  • සිසිල් ජිනදාස
  •  සුගත් වීරසිංහ 
  •  කපිල .එම්. ගමගේ
  •  නන්දා  රඹුක්වැල්ල
  •  මල්ලිකා හේම කුමාරි පෙරේරා


සඳහන් කළ හැකිය. සිංහල දෙමළ භාෂා දෙකෙන්ම ආමන්ත්‍රණය කරන එකම ප්‍රාදේශීය නාලිකාව වන කඳුරට සේවය දිනපතා පෙරවරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අඛණ්ඩ ව සජීවී විකාශනයක් ක්‍රියාත්මක කෙරේ. එමෙන් ම  කඳුකරේ අලුත් තොරතුරු ගෙන එන "කඳුරට පුවත්"," මුතු පවුර "ඇතුළු නිර්මාණශීලී වැඩසටහන් රාශියක් මෙම සේවය  මගින් ගෙන එන අතර "SLBC මාධ්‍ය ඇකඩමිය"නමින් කොත්මලේ පුහුණු ආයතනයක් ද පවත්වාගෙන යයි.
 කදුරට සේවය ඉදිරි කටයුතු උදෙසා  ශ්‍රී දළදා මාලිගාව ,පේරාදෙණිය විශ්වවිද්‍යාලය , ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා මහ බැංකුව ආදි ආයතන සහයෝගයක් ලබා දෙන අතර වැඩිම ආවරණ කලාපයක් හිමි එකම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව වනුයේ ද කඳුරට සේවයයි.



වැඩිදුර තොරතුරු සඳහා=https://www.facebook.com/profile.php?id=100063454428381&mibextid=ZbWKwL





11 comments:

  ගුවන්විදුලි ශිල්පියෙකු සමඟ ගෙවුණු සැඳෑවක් ගුවන්විදුලි ළමා පිටියෙහි හඬ පරීක්ෂණයක් මඟින් තේරී පත් වී ළමා ශිල්පියෙකු ලෙස ලත් දැනුම අත්දැකීම...